නිතිඥ සුබෝධ්‍යා විජේතුංග වැලිඅමුණ
කෝවිඩ් 19 මුළු ලොවම අබලන් කරමින් සිටින අවධියක, ඒ නිසාවෙන්ම ලොව දරුවන් මුහණ දෙනු ලබන හා මුහුණ දිය හැකි අභියෝග හා අසීරුතාද ඒ වෙනුවෙන් අපට කල හැකි වන්නේ මොනවද අපගේ වගකිම් වන්නේ මොනවද යන්නත් පිලිබදව මේ ලිපියෙන් විමසීමට අදහස් කෙරේ.
ලොව බොහෝ අවස්ථාවල වසංගත, යුධමය තත්වයන් ස්වභාවික ආපදාවන් දුප්පත්කම සාගතයන් වැනි වූ සියලුම තත්වයන් හමුවේ සැමවිටම පිඩාවට,හානියට හා අසීරුතාවන්ට වැඩිපුරම ලක් වුයේ දරුවන්ය. ලොව පුරා බිලියන 2.2 ක් පමණ ළමයින් සිටින අතර ඉන් බිලියන 2ක් පමණම ජිවත් වන්නේ සංවර්ධනය වෙමින් පවතින රටවලය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නවතම සංඛ්‍යා ලේඛණ වලට අනුව වාර්ෂිකව ලොව පුරා අවුරුදු 5 ට අඩු දරුවන් මිලියන 9.2 පමණ මිය යන අතර ඔවුන් බහුතරය විශේෂයෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවල දරුවන් වේ. මේ බොහෝ ජිවිත අහිමි වීම් ඵලදායි මැදිහත්වීම් වලින් වලක්වාගත හැකි මට්ටමක පවතින බවද නොරහසකි.
වර්තමාන C 19 හෙවත් කොවිඩ් 19 වසංගතය සන්වර්ධනය වූ හෝ නොවූ රටවල් යන්නෙන් වෙනසක් නොකර ලොව පුරා දරුවන් එකම අයුරින් පිඩාවට හා අසරණ භාවයට පත් කර ඇත. අවතැන් වීම්, ආපදා, දුප්පත්කම, රෝගාබාධ , ශාරීරික දුබලතාවන් හා සම්පත් බෙදීයාම යනාදී කරුණු හේතුවෙන් සිය ළමා අයිතිවාසිකම් බුක්ති නොවිදී දරුවන්ට වඩාත් තීව්‍ර ලෙස එකී තත්වයන්ට මුහුණ දෙන්නට සිදුවන බව පැහැදිලිය.
ලොව පුරා ළමයින්ට C 19 හේතුවෙන් සිදුවන සෞඛ්‍යම බලපෑම පවතින සංඛ්‍යා ලේඛන අනුව අවම වුවද ඒ හේතුවෙන් වන සමාජ, අධ්‍යාපන , මානසික බලපෑම් දීර්ඝ කාලීන වශයෙන් සලකන කල පැහැදිලිවම හා අතිශය කනගාටුදායක තත්වයක පවති.
ලොව පුරා රටවල් 188 ක බිලියන 1.5 ක් පමණ පාසල් සිසුන් සදහා පාසල් වසා දමා ඇති බවට තොරතරු වාර්තා වේ. ඒ අතර ශ්‍රී ලංකාවේ මිලියන 4ක පමණ ආසන්න පාසල් දරුවන් C 19 නිසා පාසල් නොයයි. ලොව බොහෝ රටවල් අන්තර් ජාලය ඔස්සේ ජාලස්ථ අධ්‍යාපනය (Online Education) ලබාදෙයි. ලොවෙන් 1/2 කට අන්තර් ජාල පහසුකම් නොමැති තත්වයක් යටතේ සහ ලොව දියුණු රටවලද අන්තර්ජාල ලැප්ටොප් පරිගණක නොමැතිව අධ්‍යාපන කටයුතු කරගෙනයාමට අපහසුකම් පවතින දරුවන් සිටින බවට වාර්තා වෙද්දී හා ඔස්ට්‍රේලියාව වැනි රටවලද සෑම පාසැල් ළමුන් 6 දෙනෙකුගෙන්ම 1 අයෙකු දුගී බවෙන් පෙලෙන වාර්තා පලවන විට ශ්‍රී ලංකාව වැනි රටවල දරුවන් ගේ අධ්‍යාපනය C – 19 නිසා අඩාල වන බව විමතියක් නොවේ. අවම පහසුකම්, අවම අධ්‍යාපන උපකරණ හා පෙළපොත් හිගය වැනි අභියෝග හමුවේ අධ්‍යාපනය හදාරන අපේ දරුවන් තවදුරටත් අධ්‍යාපන තරගය තුල අතරමන් වනු ඇත. පහසුකම් ඇති හා නැති පාසල් අතර පරතරය තවදුරටත් වැඩි වනු ඇත. ඒ අතර තවත් දරුවන් කොටසක් මේ සියලු අසීරුතා නිසාම පාසැල් හැරයනු ඇත. විශේෂයෙන්ම සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි හා උසස් පෙළ විභාගයට පෙනී සිටීමට බලාපොරොත්තු වන දරුවන්ගේ කොටසක් මේ ඛේදනීය ඉරණමට මුහුණ දීමේ ප්‍රවණතාවය ඉහලය. C 19 හේතුවෙන් සිදුවන ආර්ථික කඩාවැටීම් ඉදිරියේ මව්පියන්ගේ රැකියා අහිමිවීම්, දෙමව්පියන් අහිමි වීම්, ආතතිය හා ඉච්චා බංගත්වය මෙවැනි තත්වයකට හේතු විය හැකිය.
මේ අතර අන්තර්ජාලය ඔස්සේ දරුවන්ට අධ්‍යාපනය හැදැරීමට හා නිවාස තුලටම වී සිටීමට වීම හේතුවෙන් වන ආතතිය මගහැරවීම සදහා හදුන්වා දී ඇති වෙනත් අන්තර්ජාල වැඩසටහන් නිසා සිදුවන ජාලස්ථ (online) ළමා අපචාර හා ළමා හිංසනයන් ඉහළ ගොස් ඇති බව EUROPOL පෙන්වා දෙයි. මෙම ව්‍යසන අවස්ථාවේ ළමා අපචාර හා ළමා හිංසනයන් සදහාම අන්තර්ජාලය උපයෝගී කරගන්නා පුද්ගලයන් (Online Predators) මේ වනවිට බහුල බවද නෙදර්ලන්තය හේග් නුවර පිහිටා ඇති යුරෝපිය සංගමයේ නීති ක්‍රියාත්මක කිරීමේ ආයතනය (EUROPOL) පෙන්වා දෙයි.
එසේම C 19 පැතිරවීම පාලනයට පනවා ඇති ඇදිරි නිතිය හෝ සන්චාරණය සීමා කිරීම් (Lock down) හෝ ස්වයං නිරෝධායනය වැනි තත්වයන් හේතු කරගෙන ගෘහස්ත හිංසනය හා කළහ (Domestic Violence) ඉහළ ගොස් ඇති බව කොළබ ජාතික රෝහල සදහන් කල සේම ලොව දියුණු රටවලින්ද ගෘහස්ත හිංසනය ඉහළ ඇති බවට වාර්තා විය. ප්‍රංශයේ එය 30%කින්ද චීනයේ හුබෙයි ප්‍රාන්තයේ එය 3 ගුනයකින්ද ඉහළ ගොස ඇති බවට සදහන් විය. ඕස්ට්‍රේලියානු සහන සේවාවන් සදහන් කර සිටියේ ගෘහස්ත හිංසන සංඛ්‍යාත්මක ඉහල ගොස් ඇති බව විශ්වාස කලද, හින්සකයාද නිවාස තුලම සිටීම හේතුවෙන් වින්දිතයාට සහන සේවාවන් සම්බන්ධ කරගැනීමට හා සේවා ලබා ගැනීමට අපහසු වී ඇති බවයි. මේ තත්වය ශ්‍රී ලංකාවේද ගම්බද හා නගරබද අඩු ආදායම් ලාභී පවුල් අතර බහුලව පැවතිය හැකි අතර ඒ නිසා වැඩියෙන්ම පිඩාවට පත්වන්නේ දරුවන්ය. මෙහිදී දරුවන්ට සිය මානසික වේදනාව හෝ පිඩාව හෝ ශාරීරිකව සිදුවන හිංසාවන් ප්‍රකාශ කිරීමට හෝ ඒ සදහා සහනයක් ලබා ගැනීමට අවස්ථාවන් අහිමි වී ඇත.
තවද දෙමව්පියන්ගේ විරසකයන් හේතුවෙන් ඔවුන්ගෙන් එක් පාර්ශ්වයකට පමණක් ළමයින්ගේ භාරකාරත්වය පැවරී ඇති විට හා අනෙක් පාර්ශ්වයට ඇදිරි නිතිය නිසා දරුවන් මුනගැසීමට නොහැකි වීමත් මෙහිදී අවධානය යොමුවියයුතු කරුණකි. එහිදී දරුවන් මානසික බිද වැටීමකට ලක්වන අතර දරුවන් මුන නොගැසීම හේතුවෙන් එක් පාර්ශ්වයක් කලහකාරී වීමට හා පීඩාවන් සිදු කිරීමට ඉඩ ඇත.
පාසල් වසා දමා තිබීම හේතුවෙන් දරුවන්ගේ මානසික කම්පනයන් හදුනා ගැනීමට ගුරුවරුන්ට අවස්ථාවක් නොමැත. දරුවන්ට සිය සමීපතම යෙහෙළියක හෝ යහලුවෙකුට තම පිඩාව හෝ වේදනාව කියා තාවකාලික සහයක් ලබා ගැනීමට තිබු අවස්ථාවන් සමාජීය හමුවීම් සීමා කිරීම හමුවේ නැති වී ගොසිනි. එහෙයින් තව දුරටත් ගෘහස්ත හින්සනය හා පිඩාව හමුවේ දරුවන් අසරණ වේ. එක් ඕස්ට්‍රේලියානු ළමාරක්ෂක නිලධාරිනියක පවසා තිබුනේ ගෘහස්ත හිංසනය ප්‍රබල නිවෙස්වල දරුවන්ගේ එකම ක්ෂේම භූමිය පාසල බවත් C 19 නිසා පාසැල් වැසීමෙන් පිඩාවට පහත්වන දරුවන් වෙනුවෙන් ඇයගේ හදවත හඩා වැටෙන බවයි. සිඩ්නි මොර්නින්ග් හැරල්ඩ් (Sydney Morning Harald) පුවත්පතට ඕස්ට්‍රේලියාවේ එක් පාසල් විදුහල්පතිනියක කියා සිටියේ ගෘහස්ථ හිංසනය ප්‍රබල නිවෙස්වල දරුවන්ට සාමාන්‍ය පාසල් නිවාඩුවද පීඩාකාරී වුවක් වන අතර C 19 නිසා දීර්ඝ කාලයක් එවැනි පරිසරයක රැදී සිටින්නට සිදු වීමත් ඔවුන් ඉතා සතුටින් ලබා ගන්නා පාසලෙන් දෙනු ලබන ආහාර වේල අහිමි වීමත් දරුවන්ගේ මානසික පිඩාව ප්‍රබල කර ඇති බව තමන් සිතන බවයි. ඕනෑම මොහොතක අවම වශයෙන් ඕස්ට්‍රේලියානු දරුවන් 50,000 ක් පමණ විධිමත් පාසල් අධ්‍යාපනයෙන් බැහැරව සිටින තත්වයක් පවතිද්දී C 19 හේතුවෙන් වන සංකීර්ණ ජාලස්ථ අධ්‍යාපනය එම ප්‍රමාණය තවදුරටත් වැඩි කරනු ඇති බවද කියැවිණි. Jim Watterson (University of Melbourne’s Graduate School of Education) කියා සිටියේ අධ්‍යාපන දක්ෂතා නොදැක්වූ හා අකීකරු හැසිරීම් වල යෙදුනු පිරිමි දරුවන්ද, මානසික සෞඛ්ය ගැටළු ඇති ගැහැණු ළමයින්ද මෙසේ පාසල් හැර යාමට බොහෝ ඉඩකඩ ඇති බවයි.
යුනිසෙෆ් සංවිධානය සදහන් කලේ මාර්තු 16 සිට අප්‍රේල් 7 දින දක්වා කාලය තුල ශ්‍රී ලංකා ළමාරක්ෂණ අධිකාරියට ලැබුණු ළමා අපයෝජන පැමිණිලි ගණන 292 ක් බවත් ඉන් 121 කට අනුව දරුවන් දරුණු වද හිංසා වලට ලක් වී ඇති බවත්ය. එයින්ම පෙනී යන්නේ දේශසිමා හෝ සංවර්ධිත හෝ නොවන යන්නෙහි වෙනසක් නොමැතිව C -19 හේතුවෙන් ලොව දරුවන් තවදුරටත් හිංසනයට ලක්වන බවයි. තවද මේ අවස්ථාවේදී ලොව බොහෝ රටවල ළමාරක්ෂක සහන සේවා සපයන ආයතන වල සේවාවන් සීමාකර ඇති හෙයින් මෙසේ හිංසාවට හා අපචාරයන්ට බදුන් වන දරුවන්ට ආරක්ෂාවක් හා රැකවරණයක් ලබාගන්නට නොහැකි තත්වකයට පත් වී ඇත.
පරිවාස මධ්‍යස්ථානවල, ළමා නිවාසවල සහ හෝ නිරෝධායන මධ්‍යස්ථානවල රදවා සිටින ළමයින් අතර බලධාරීන් විසින් නියම කරන මට්ටමේ දුරස්ථ බාවයක් පවත්වාගෙන යා නොහැකි අතර ඔවුන් ජලය, සනීපාරක්ෂක පහසුකම් හා මුලික වෛදය පහසුකම් අවමයෙන් ලබන අතර ඒ හේතුවෙන් ඔවුන් අතර C 19 රෝගය පැතිර යාමේ අවධානම ඉහලය. එසේම වර්තමාන වසංගත තත්වය හමුවේ සාමාන්‍යයෙන් ළමයින්ට ලබා දෙනු ලබන එන්නත් වර්ග ලබා දීම පමාවිම හෝ මගහැරීම සිදුවන්නට පුළුවන. 2014-2015 කාලයේදී බටහිර අප්‍රිකාවේ පැතිර යන ලද එබෝලා වසංගතය හමුවේ මැලේරියා , ඒඩ්ස් හා ක්‍ෂයරෝගය සදහා වන එන්නත් ලබා නොදීම හේතුවෙන් ළමයින් එකී රෝග වලට නිරාවරණය වීමේ ප්‍රවනතාවය ඉහළ යන ලදී. ඕස්ට්‍රේලියාවේ මෙම වසරේ අවුරුදු 12 වයස් කාණ්ඩයේ දරුවන්ට ලබා දීමට නියමිතව තිබු ත්‍රිත්ව එන්නත C 19 හේතුවෙන් පාසල් වැසීම නිසා ලබා නොදුන් අතර රජය විසින් කියා සිටියේ එන්නත ලබා නොදුන් ප්‍රන්තයන්හි දරුවන්ට මෙම අසීරුතාවයන් පහව ගිය වහාම එය ලබා දෙන්නට කටයුතු කරන බවයි. මෙවැනි අවස්ථාවන් තවත් බොහෝ රටවලද සිදු වනවා ඇතැයි සිතිය හැකිය. ලොව මිලියන 7 ක ජනතාවක් රට රටවල් අතර ගැටුම් හේතු කරගෙන අවතැන් වී සිටිති. ඒ අතර සිටින දරුවන් සංඛ්‍යාව ඉහළය. ඒ දරුවන්ද C 19 හි බලපෑමෙන් මිදෙනු නැති අතර මූලික සෞඛ්‍ය හා සනීපාරක්ෂක පහසුකම්, ජලය රැදී සිටීමට ප්‍රමාණවත් වාසස්ථාන නොමැති වීම හේතුවෙන් දැඩි අවදානමක් දර සිටි.
තවද මානසික ආබාධ හා විවිධ රෝගාබාධ වලින් පෙළෙන දරුවන්ද ඔටිසම් වැනි තත්වයන්ගෙන් පෙලන දරුවන්ද මෙවන් තත්වයකදී වඩාත් අසරණ වන අයවලුන් වේ. බොහෝ විට ඔවුන්ට මෙවන් රෝගයක පවතින ලක්ෂණ පැහැදිලි කල නොහැකි වන අතර අවශ්‍ය ආරක්ෂාකාරී පියවරයන් පැහැදිලි කර දීම අපහසුය. එසේම මාපියන් හා අනෙක් දරුවන්ද නිවෙස් වලට කොටු වී ආතතිය , අවිනිශ්චිත තාවයන් සමග පොර බදිමින් සිටින වටපිටාවන්හිදී, ඔවුන්ගේ ක්‍රියාකාරකම් සීමිත වපසරියක කරන්නට සිදු වීමෙන් ඔවුන් තව දුරටත් පිඩාවට හා හිංසාවට පත්වේ. එසේම විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සදහා වන සායනික හා භෞත චිකිත්සක ප්‍රතිකාර සේවාවන් C 19 හේතුවෙන් අවම හෝ සීමාසහිතව මට්ටමෙන් පැවැත්වීම නිසා එවැනි දරුවන් දැඩි අපහසුතාවන්ට මුහුණපාන අතර එනිසාම ඇතිවන සංකීර්ණතා පාලනයට අපහසුවන ඔවුන්ගේ දෙමව්පියන් හෝ රැකබලා ගන්නන් අසීරුතාවන්ට මුහුණ පායි. ඒ හේතුවෙන් දරුවන් පිඩාවට පත්වන්නටද ඉඩ තිබේ. තවද මෙම වසංගත තත්වය හේතුවෙන් දෙමව්පියන් සිය රැකියාව ගෙදර සිට කර ගෙන අතරතුර ගුරු භූමිකාවද, රැකබලාගන්නන්ගේ භූමිකාවද, සමහර විටක ක්‍රීඩා කණ්ඩායමේ සාමාජිකයකුගේ භූමිකාවද එකවිට කරන අතර එවන් වටපිටවකදී, විශේෂයෙන් මානසික හා ශාරීරික දුබලතා ඇති හෝ විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ වුවනාවන් කෙරෙහි යොමුවීම ඔවුන්ට දුෂ්කර හා ආතතියක් ඇති කරන්නක් විය හැකිය. එයම අනෙක් අතට දරුවන්ට පිඩාකාරි වන්නට පුළුවන.
මෙම C 19 හි බලපෑම් හමුවේ තවදුරටත් ආතිවන ආර්ථික දුෂ්කරතා හේතුවෙන් වැඩිමහල් පාසල් දරුවන් පාසල් හැරයමින් බාළ සහෝදර සහෝදරියන්ගේ අධ්‍යාපනයට සහය දක්වන්නට මව්පියන්ගේ ජිවන සටනට එකතුවෙන්නට තිබෙන ඉඩකඩ ඉහලය. ඔවුන්ගේ අධ්‍යාපනයට ඇති අයිතිය C 19 පැහැර ගන්නේ එසේය. අන්තර්ජාතික කම්කරු සංවිධානය සදහන් කරන පරිදි ලොව පුරා මිලියන් 152 ක් පමණ ළමා ශ්‍රමිකයන් සිටින අතර එයින් ළමයින් මිලියන 73 ක් අනතුරුදායක රැකියාවල යොදවා සිටියි. මේ සංඛ්‍යා ලේඛණ දක්වන්නේ C 19 ට පෙර තත්වය වන අතර C 19 හේතුවෙන් ලොව පුරා ඇතිවිය හැකි ආර්ථික කඩාවැටීම් හමුවේ ළමා ශ්‍රමිකයන් සංඛ්‍යාව පැහැදිලිවම ඉහල යා හැකිය. ළමා ශ්‍රමික සේවය ඍජුවම ආර්ථික දුෂ්කරතාවයන්, ලෙඩ දුක්, ශාරීරික දුබලතා හා දෙමව්පියන් අහිමි වීම් හා සම්බන්ධ වන අතර C 19 හේතුවෙන් ඉහත කී සියලු තත්වයන්ට මුහුණ දීමට ලොව ළමයින්ගෙන් සමහරකට සිදුවනු ඇත.
COVID 19 න් පීඩාවට පත් දරුවන් වෙනුවෙන් වැඩිහිටියන් වන අපට කල හැකි දේ.
මව්පියන් හා දරුවන් ඇතුළු සියලු දෙනා නිවසේ සිටම රැකියා කිරීම හා ඉගෙන ගැනීම සිදු කරන මෙවන් අවස්ථාවන්හිදී ද ළමයින්ට තම දිනපතා කෙරෙන කටයුතු පිළිවෙලට කරන්නට සහයෝගය දිය යුතු බව විශේෂඥ වරුන්ගේ අදහසයි. පෙර පරිදි අවදිවීම ආහාර ගැනීම , ක්‍රීඩා කිරීම ආදිය නියමිත කාලසටහනකට අනුව සිදු කරන්නට ඔවුන් යොමුකිරීමෙන් ඔවුන් ට ආතතිය වැනි තත්වයන්ගෙන් මිදෙන්නට හැකි බව ඔවුන් පවසයි. එසේම දරුවන්ට නිර්මානාත්මක ක්‍රියාකරකම් යෙදෙන්නට අනුබල දීමෙන් හා ඔවුන් හා එක්ව එවන් කටයුතු වල යෙදිමෙන් දරුවන්ට එවන් පිඩාවන්ගෙන් මිදෙන්නට සහය විය හැකි බවත් පැවසේ.
සාමාන්‍යයෙන් ළමයින්ට තම හැගීම් හා අවේග පාලනය කරගත නොහැක. ඒ නිසාම මෙවැනි තත්වයන්හිදී ඔවුන්ට තමන් මෙසේ එකම ආකාරයෙන් සිර වී සිටීම හෝ තමන්ගේ ගමනාගමනය සිමා කර තිබීම අසාධාරණ හෝ තමන්ට දුන් දඩුවමක් ලෙස දැනෙන්නට පුළුවන. එය ඔවුන් මානසිකව බිද වැටීමකට ලක් කරන්නට පුළුවන. ඒ නිසා ළමයින්ට, විශේෂයෙන් අවබෝධ කරගත හැකි වයසේ සිටින දරුවන්ට මේ පිලිබදව කියාදීම හෝ ඔවුන් සමග මේ පිලිබදව සාකච්චා කිරීම වැදගත් වේ. අනෙක් කුඩා වයස් වල සිටින දරුවන්ට, තමන්ගේ නිවාස අවට පරිසරය ආශ්‍රයෙන් නොයෙක් ක්‍රියාකාරකම් වල යෙදීමට සහයෝගය දැක්වීම වටනේය. එය දෙමව්පියන්ට ද යම් තරමක මානසික සහනයක් ගෙන දෙන්නක් වෙයි. තවද ළමයින්ට තමන්ට තිබෙන්නාවූ පහසුකම් මත තම පාසල් මිතුරු මිතුරියන් සමග අන්තර්ජාලය ඔස්සේ හෝ දුරකථනය ඔස්සේ කතා බහ කරන්නට ඉඩ ලබා දීම, අසල්වැසියන් සමග සමාජ දුරස්ථ භාවය ආක්ෂාකර ගනිමින් හෝ කතා බහ කරන්නට ඉඩ දීමෙන්ද ළමුන් සමග ක්‍රීඩා කිරීමෙන්ද ඔවුන් ට ඇතිවන මානසික පීඩාවන් අවම කරගත හැකි වනු ඇත.
නිවසේ සිට අන්තර්ජාලය හරහා කෙරෙන ජාලස්ථ අධ්‍යාපන කටයුතු වලදී මව්පියන්ගේ හෝ වගකිවයුතු වැඩිහිටියෙකුගේ සුපරික්ෂාව වරින් වර නැතහොත් සෑම පැයකටම වරක් හෝ දෙවරක් තිබිය යුතු බවත් ඒ තුලින් ජාලස්ථ ළමා අපචාර හා හිංසනයන්ට ළමයින් ගොදුරු වීම වැලැක්වීම පහසු විය හැකි බව පැවසේ.
ළමා ශ්‍රමිකයන්ගේ වර්දනය හා පාසල් හැරයාම් අවම කරලීම සදහා අවදානම් සිමාවන්හි සිටින පවුල වලට දෙනු ලබන ආර්ථික ආධාර වැඩි කිරීම සුදුසු බව ආර්ථික හා අධ්‍යාපන විශේෂඥයන් කියා සිටිති. Human Rights Watch ආයතනය පවසන්නේ එවන් මුල්‍යමය ආධාර ළමා ශ්‍රමිකයින් මෙන්ම ළමා විවාහයන්ද අවම කරනු ඇති බවයි.
C 19 හේතුවෙන් දෙමව්පියන් අහිමි වූ දරුවන්ට කැපකරු මාපිය ක්‍රමයක් හෝ සුදුසු නිවාස රැකවරණය ලබා දීමට අදාල රජයන් හැකි ඉක්මනින් කටයුතු කිරීම තුල එවැනි දරුවන් කුට්ටනයට (trafficking) අසුවන්නට පෙර ආරක්ෂා කරගත හැකි වනු ඇත.
පොදුවේ ජනතාව දැනුවත් කිරීමෙන්දැ හෝ දැනුවත් කිරීමේ වැඩසටහන් මාධ්‍ය තුලින් විකාශණය කිරීමෙන්, අන්තරායට පත් විය හැකි දරුවන් ගේ සහයට වන විශේෂ දුරකථන ජාලයන් පුළුල් කිරීමෙන් නිවසේ සිට ජාලස්ථ අධ්‍යාපනයෙහි යෙදෙන දරුවන් ගෘහස්ථ හිංසනයට ලක් වීම හා ජාලස්ථ ළමා අපචාරයන්ට හසු වීම අවම කරගත හැකිය. එසේම ළමා නිවාස ගතව හෝ පරිවාස භාරයේ හෝ සිටින දරුවන් වගකීම් සහගත පවුල් සමග තාවකාලිකව ජිවත් වීමට යොමු කිරීමෙන් එවැනි දරුවන්ට ආහාර, ආරක්ෂාව හා ආදරය අවශ්‍යවම මොහොතේ ලැබෙන අතර සනිපාරක්ෂක පහසුකම් අවම විමෙන් මුහුණ පාන දුෂ්කරතා නිසා C 19 පැතිරයාමේ අවදානමට මුහුණ දීමෙන් ආරක්ෂා කරගත හැකිවනු ඇත. රටතුල අවතැන්ව හෝ අනාථ කදවුරු වල හෝ සිටින පුද්ගලයන් හා දරුවන් සදහා මුලික සනීපාරක්ෂක පහසුකම් වැඩි කිරීම මගින් අවශ්‍ය සමාජ දුරස්ථ භාවය පවත්වා ගැනීම පහසු වන අතර එනයින් C 19 ට ගොදුරු වීමට ඇති ඉඩකඩ ඇහිරිය හැකි වනු ඇත.
මෙම වසංගත තත්වය එක රැයකින් හෝ සතියකින් අවසන් වන්නක් නොවන බව පැහැදිලි මෙවන් අවස්ථාවකදී දරුවන් කෙරෙහි වන අවධානය පෙරටත් වඩා යොමු කලයුතු වන්නේ පමා වී හෝ ලොව හොදම දේ දරුවන්ට අප විසින් ලබා දිය යුතු හෙයිනි.