තෑගි ඔප්පුවක් යනු කුමක්ද ?
සාමාන්‍ය අර්ථයෙන් ගත් කළ ත්‍යාග ඔප්පුවක් යනු නාමික මිලක් සහිත ආදරය සහ දයාව මුල්කරගනිමින් සිදු කරනු ලබන ඔප්පු විශේෂයකි.
ත්‍යාග කිරීම හෝ ප්රදානය යනු එක් පාර්ශවයක් විසින් තවත් පාර්ශවයකට මුල්‍යමය ප්‍රතිෂ්ඨාවක් රහිතව කෘතඥතාවය මුල් කරගනිමින් සිදු කරනු ලබන ස්වෙච්ජානුගත දේපල පවරා දීමක් බව (Bradley v Bradley as cited in Blacks Law Dictionary 6th Ed) හි සදහන් කොට ඇත.
රෝම ලන්දේසි නීතියට අනුව,
- ත්‍යාග කිරීම හෝ ප්රදානය ගිවිසුමක් ලෙස සලකනු ලබයි.
- ත්‍යාග කිරීම හෝ ප්රදානය විශේෂ ගණයේ ගිවිසුමක් ලා සලකයි.
- ඉඩම් සහ නිශ්චල දේපල හා බැඳි ත්‍යාග ඔප්පු ලියාපදිංචි කළ යුතු අතර නොතාරිස්වරයෙකු මඟින් සහතික කළ යුතුය යන්න (R.W. Lee, 5th Ed page 285) හි දක්වා ඇත.
ත්‍යාග ඔප්පුවක් සැකසීමේදී අත්‍යවශ්‍යය වන සාධක ලෙස පහත කරුණු දැක්විය හැකිය
- ත්‍යාග කිරීම සඳහා ත්‍යාග දීමනාකරුට පවතින හැකියාව
- ත්‍යාග කිරීම සඳහා ත්‍යාග දීමනාකරුගේ චේතනාව
- ත්‍යාග ලැබුම්කරු වෙත හෝ සඳහා වන සම්පුර්ණ ප්රදානය
- ත්‍යාග ලැබුම්කරු විසින් ත්‍යාගය පිළිගැනීම
අවලංගු කළ නොහැකි තෑගි ඔප්පු අවලංගු කිරීම
ත්‍යාග ඔප්පු අවලංගු කළ නොහැකි නමුත් එය යම් යම් සීමාවන්ට විෂයගත වන බව R. W. Lee සදහන් කරයි. ඒ අනුව,
- ත්‍යාග ඔප්පු සැකසීම කෘතඥතාව මුල් කරගනිමින් සිදු කිරීම මත යම් යම් සීමාවන්ට විෂයගතව වේ.
- ත්‍යාග කරනු ලැබූ දේපල ත්‍යාග දීමනාකරුට අයත් නොවන්නක් නම් එකී ත්‍යාග බලරහිත වේ.
- ත්‍යාග ඔප්පුවක් රීතියක් ලෙස අවලංගු කළ නොහැක්කකි.
- ත්‍යාග ඔප්පුව අවලංගු කිරීම සම්බන්ධව ප්රකාශිතව වගන්තියක් ඇතුළත් කළ විට ත්‍යාග ඔප්පුවක් අවලංගු කළ හැකි ත්‍යාග ඔප්පුවක් බවට පත් වේ.
- එවැනි තත්ත්වයකදී පසුව ලියනු ලබන ත්‍යාග ඔප්පුවකින් එකී ත්‍යාගය අවලංගු කළ හැකිය.
- කෙසේ නමුදු එවැනි අවලංගු කරන ඔප්පු ලිවීම සාමාන්‍ය පුහුණුව නොවේ.
ත්‍යාග ඔප්පුවක් වනාහි ස්වභාවයෙන්ම අවලංගු කළ නොහැක්කකි. කෙසේ නමුදු පහත අවස්ථාවන්හිදී ත්‍යාගය අවලංගු කළ හැකි අතර, දේපල නැවත අත්පත් කර ගැනීම ද කල හැක.
- ත්‍යාග ඔප්පුවෙහි සක්රීයභාවයට අදාළ විධානයක් බලාත්මක කිරීමට ත්‍යාග ලැබුම්කරු අසමත් වූ විටෙක (කොන්දේසි සහිත ප්රදානය)
- ත්‍යාග ලැබුම්කරුගේ බලවත් අකෘතඥතාවය මත
- ත්‍යාග ඔප්පුව සකසන අවස්ථාවේදී දරුවන් නොමැතිව පසු වුවද ත්‍යාග දීමනාකරු පසුව සුජාත/විවාහජ දරුවකුට පියෙකු වූ විට හෝ දරුවෙකු කුලවද්දා ගත් විට
අකෘතඥතාවය යනු කුමක්ද ?
- එක් හුදු අකෘතඥ ක්‍රියාවක් මත පමණක් ත්‍යාග ඔප්පුවක් අවලංගු කිරීමට අවසර දිය නොහැකි බවට පිළිගැනීමක් නැත.
- අකෘතඥතාවය ත්‍යාග ලැබුම්කරුගේ ක්‍රියාකලාපය මඟින් නිරූපණය වන ඔහුගේ/ඇයගේ මානසික තත්වය විය යුතුය.
- එකී මානසික ක්‍රියාකලාපය එක් ක්‍රියාවක් මඟින් හෝ ක්‍රියාවන් කිහිපයක් මඟින් නිරූපණය විය හැකිය.
- එය එක් ක්‍රියාවක් පමණක් වුවද එකී ක්‍රියාවට සමාව දීම සඳහා ත්‍යාග දීමනාකරු කැමැත්තක් නොදක්වන්නේ නම් තම ක්රියාවේ ප්‍රතිවිපාක ත්‍යාග ලැබුම්කරු දැරිය යුතුය.
අකෘතඥතාවය යන්නට Black’s Law Dictionary පහත නිර්වචනය ලබා දි ඇත.
රෝම නීතියට අනුව ත්‍යාගයක් අවලංගු කිරීම සඳහා ප්‍රමාණවත් හේතුවක් ලෙස අකෘතඥතාවය දැක්වෙන අතර හෝ වහල් බවින් මිදුණු මිනිසෙකුගේ නිදහස නැවත කැඳවීමක් ලෙස දැක්වේ. ප්‍රංශ නීතියේදී ද ඉහත පළමු කරුණට වැදගත්කමක් හිමි වේ. නමුදු ඉංග්‍රීසි සහ ඇමෙරිකානු නීතිය මඟින් සම්පුර්ණයෙන්ම මෙකී කරුණු සදාචාර හැඟීම මත දිගහැරීමට අවකාශ සලසයි. (Black’s Law Dictionary, 6th Edition)
අවලංගු කළ නොහැකි ත්‍යාග ඔප්පු අවලංගු කරනුයේ කෙලෙසද ?
- අවලංගු කළ නොහැකි ත්‍යාග ඔප්පු අවලංගු කිරීමට නම් පැහැදිලිවම ත්‍යාග දීමනාකරු විසින් අධිකරණය ඉදිරියේ නඩුවක් ගොනු කළ යුතුය.
- රෝම ලන්දේසි නීතිය මඟින් හඳුනාගෙන ඇති පදනම් මුල්කොට ගෙන අවලංගු කළ යුතුය.
ප්‍රනාන්දු එදිරිව පෙරේරා (63 NLR 236) සහ පොඩිනෝනා රණවීර මැණිකේ එදිරිව රෝහිනී සේනානායක (1992) 2 SLR 181 යන නඩු තීන්දුවලදී මේ බව සදහන් කොට ඇත.
කෙසේ නමුදු 2007 ජුලි 13 වන දින තීරණය කළ ඞී.බී. විල්සන් එදිරිව සුමනාවතී සහ තවත් අයCA 535/95 (F) යන නඩුවේ දී “නඩු කටයුත්තක් අධිකරණයක ගොනු නොකරමින් සහ අධිකරණ තීන්දුවක් අත්කර නොගනිමින් හුදු අවලංගු කිරීමේ ඔප්පුවකින් පමණක් අවලංගු කළ නොහැකි ත්‍යාග ඔප්පුවක් අවලංගු කිරීමට ත්‍යාග දීමනාකරුට හැකියාව පවතින බවට” දිසා අධිකරණය විසින් ලබා දුන් නියෝගය අභියාචනාධිකරණය විසින් පිළිගන්නා ලදී.
මෙහි දී අධිකරණය විසින් ත්‍යාග ඔප්පු අවලංගු කිරීමේ උඩරට නීතිය වෙත ප්‍රධාන වශයෙන් අවධානය යොමු කළ අතර උඩරට නීතියෙහි එන දුල්ලෑව එදිරිව දුල්ලෑව 71 NLR 289 නැමැති නඩු තීන්දුව සලකා බලන ලදී.
නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය SC Spl. L.A. No. 07/2008 § Special leave ප්රදානය කිරීම ප්‍රතික්ෂේප කරන ලදී. (minute dated 20-06-2008)
තෑගි ඔප්පු සදහා ණය පහසුකම් ලබාගත හැකි ද ?
මෙම ඉහත කී ඞී.බී. විල්සන් එදිරිව සුමනාවතී සහ තවත් අය යන නඩු තීන්දුව පූර්වාදර්ශයට ගත් තෑගි දීමනාකරුවන් විසින් අවලංගු කළ නොහැකි ත්‍යාග ඔප්පු, අවලංගු කිරීමේ ඔප්පුවක් ලිවීම මගින් අවලංගු කිරීම හේතුවෙන් තෑගි ලැබුම්කරුවන් මෙන්ම විශේෂයෙන්ම එම තෑගි ඔප්පු උගසට තබා ණය පහසුකම් සලසා දෙනු ලැබූ මූල්‍ය ආයතනවලට අගතිදායකවීම නොවැලැක්විය හැකි කරුණක් විය. ඒ අනුව සමහර මූල්‍ය ආයතන තෑගි ඔප්පු සදහා ණය පහසුකම් ලබාදීම ප්‍රතික්ෂේප කල අතර තවත් සමහර ආයතනයන් දැඩි කොන්දේසි අනුගමනය කරමින් ණය පහසුකම් ලබාදෙන ලදී.
මෙහිදී උදාහරණයක් දක්වන්නේ නම් සමහර මූල්‍ය ආයතනයන් තෑගි ඔප්පු සදහා ණය පහසුකම් ලබාගැනීමට තෑගි ලැබුම්කරු විසින් අයදුම් කරනු ලබන අවස්ථාවන්හිදී තෑගි දීමනාකරු ද ණයකරුවෙකු ලෙස උගස් ඔප්පුවට ඇතුලත් කිරීම අනිවාර්යය සාධකයක් බවට පත්කරන ලදී. එසේම තවත් සමහර මූල්‍ය ආයතනයන් විසින් තෑගි දීමනාකරු මාර්ගයෙන් තෑගි ඔප්පුව අවලංගු නොකරන බවට දිවුරුම් ප්‍රකාශයන් ලබා ගැනීම ආදිය සිදු කරන ලදී. මෙහිදී ඒ ඒ මූල්‍ය ආයතනයන් තමන්ගේ ව්‍යවස්ථාවන් අනුව යම් යම් ප්‍රතිපත්ති අනුගමනය කරන ලදී.
ඒ අනුව ව්‍යවස්ථාපිත මැදිහත්වීමක අවශ්‍යතාවයක් උද්ගත වු අතර ඊට පිලියමක් වශයෙන් නව පනතක් හඳුන්වා දෙන ලදී. එය 2017 අංක 5 දරන අවලංගු කළ නොහැකි තෑගි ඔප්පු බලවත් අකෘතඥතාවය පදනම් කොටගෙන අවලංගු කිරීමේ පනතයි. එය වගන්ති හතකින් පමණක් සමන්විත වන අතර එහිදී අවලංගු කළ නොහැකි ත්‍යාග ඔප්පු බලවත් අකෘතඥතාවය මත තෑගි ඔප්පුව ලියා අත්සන් කිරීමේ දින සිට අවුරුදු දහයක කාලයක් ඇතුළත සහ නඩු නිමිත්ත පැන නැගුණු දිනයේ සිට අවුරුදු දෙකක කාලයක් ඇතුළත නඩුවක් ගොනු කර අවලංගු කළ හැකි බව දක්වයි.
මෙම පනත හදුන්වාදීමෙන් පසුව ද යම් යම් මූල්‍ය ආයතනයන් තෑගි ඔප්පු සදහා ණය පහසුකම් ලබාදීමේදී එකී තෑගි ඔප්පුව ලියා සහතික කල දින සිට වසර දහයක කාලයක් තුල මුල්‍ය පහසුකම් ලබා දෙන්නේ නම් තෑගි දීමනාකරු ද ණයකරුවෙකු ලෙස උගස් ඔප්පුවට ඇතුලත් කිරීම තවදුරටත් සිදු කරනු ලබයි.
2017 අංක 5 දරන අවලංගු කළ නොහැකි තෑගි ඔප්පු බලවත් අකෘතඥතාවය පදනම් කොටගෙන අවලංගු කිරීමේ පනත
- අවලංගු කළ නොහැකි තෑගි ඔප්පුවක්, බලවත් අකෘතඥතාවය පදනම් කොටගෙන අවලංගු කරවා ගැනීම සඳහා එහි තෑගි ලැබුම්කරුට එරෙහිව එම ඔප්පුවේ තෑගි දීමනාකරු විසින් පවරනු ලබන නඩුවක දී, නිසි අධිකරණ බලය ඇති අධිකරණයක් විසින් කරනු ලබන ආඥවක් මගින් පමණක් අවලංගු කරනු ලැබිය හැකි ය. 2 වන වගන්තිය
- තෑගි ඔප්පුව ලියා අත්සන් කිරීමේ දින සිට අවුරුදු දහයක කාලයක් ඇතුළත සහ නඩු නිමිත්ත පැන නැගුණු දිනයේ සිට අවුරුදු දෙකක කාලයක් ඇතුළත එම නඩුව ගොනු කර ඇත්නම් මිස, 2 වන වගන්තියේ සඳහන් නඩුවක්, අධිකරණය විසින් භාරගනු නොලැබිය යුතු ය. 3 වන වගන්තිය
- 4 (1) වන වගන්තිය
මේ පනතේ විධිවිධාන යටතේ ගොනු කරන ලද නඩුවක පැමිණිලිකරු විසින්, ඒ නඩුව ඇසීමට තිබෙන (ලිස්පෙන්ඩන්ස්) නඩුවක් ලෙස ලියාපදිංචි කිරීම පිණිස-
(අ) අවලංගු කිරීමට අපේක්ෂිත ඔප්පුව ලියාපදිංචි කර ඇති දිස්ති‍්‍රක්කයේ ඉඩම් රෙජිස්ට්‍රාර්වරයා වෙත යැවීම සඳහා වූ ඉල්ලූම් පත්‍රයක් හෝ
(ආ) අවලංගු කිරීමට අපේක්ෂිත ඔප්පුව ලියාපදිංචි කර නොමැති අවස්ථාවක, එම ඔප්පුවට අදාළ ඉඩම පිහිටා ඇති දිස්ති‍්‍රක්කයේ ඉඩම් රෙජිස්ට්‍රාර්වරයා වෙත යැවීම සඳහා වූ ඉල්ලූම් පත්‍රයක්, පැමිණිල්ල සමග ගොනු කිරීමට සැලැස්වීම හෝ ගොනු කිරීම කළ යුතු ය.
- 4 (2) වන වගන්තිය
ඉහත (1) වන උපවගන්තියේ සඳහන් ඉල්ලූම් පත්‍රය පිටපත් තුනකින් යුක්ත විය යුතු අතර, එහි “මුල් පිටපත”, “1 වන පිටපත” සහ “2 වන පිටපත” යනුවෙන් සලකුණු කර (117 වන අධිකාරය වූ) ලේඛන ලියාපදිංචි කිරීමේ ආඥ පනතේ දක්වා ඇති ආකෘතියට සාරානුකූලව සකස් කළ යුතු ය. අධිකරණය විසින් ඒ නඩුවට දෙනු ලබන අංකය ඇතුළත් කිරීම සඳහා හිස් ස්ථානයක් එහි තිබිය යුතු ය.
- මේ පනතේ විධිවිධාන යටතේ ගොනු කරනු ලබන සෑම නඩුවක් ම, සිවිල් නඩු විධාන සංග්‍රහයේ (101 වන අධිකාරය) විධිවිධාන සලසා ඇති කාර්ය පටිපාටියට අනුකූලව පවත්වාගෙන යා යුතු අතර, එම කාර්ය පටිපාටිය මගින්නි යාමනය විය යුතු ය. 5 වන වගන්තිය
- 6 වන වගන්තිය
පද සම්බන්ධයෙන් අන්‍යාර්ථයක් අවශ්‍ය වුවහොත් මිස-
“ඉඩම් රෙජිස්ට්‍රාර්වරයා” යන්නෙන්, (117 වන අධිකාරය වූ) ලේඛන ලියාපදිංචි කිරීමේ ආඥපනත යටතේ පත් කරනු ලැබුවා වූ ද අවලංගු කරන ලෙස ඉල්ලා සිටිනු ලබන අවලංගු කළ නොහැකි තෑගි ඔප්පුවක විෂය ගත ඉඩම පිහිටා ඇති දිස්ත්‍රික් බල සීමාව අයත් වූ ද ඉඩම් රෙජිස්ට්‍රාර්වරයා අදහස් වේ
සහ
“ඉඩම” යන්නට, (117 වන අධිකාරය වූ) ලේඛන ලියාපදිංචි කිරීමේ ආඥ පනතේ ඇති අර්ථය ම තිබිය යුතු ය.
- මේ පනතේ සිංහල සහ දෙමළ භාෂා පාඨ අතර යම් අනනුකූලතාවක් ඇති වුවහොත්, එවිට සිංහල භාෂා පාඨය බලපැවැත්විය යුතු ය. 7 වන වගන්තිය