කොවිඩ් 19 යනු දෙවන ලෝක යුද්ධයෙන් පසු මුළු ලොවම එක ලෙස එකවර අභියෝග රැසකට මුහුණු දුන් අවස්ථාවකි.
ලොව පුරා සියලු රටවල ජනතාව දැඩි පීඩනයන්ට මුහුණ දෙමින් රැකියා අහිමිවීම්, ප්‍රියයන් අහිමිවීම්, දැඩි මානසික හා ශාරීරික ආතතීන් සමග මාසයකට වැඩි දින ගණනාවක් නිවෙස් වලට හිරවී ගත කරන අතර ඒ අතර තම රැකියා කටයුතු, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නිවසේ සිටම කරන්නට වීමේ අභියෝගයෙන්ද පිඩා විදිමින් සිටිති. ඊට අමතරව සිය රට තුල පවත්නා නීති පද්ධතීන් තුළ හා ඒ ඒ රජයන් විසින් පනවනු ලබන නව නීති හා රෙගුලාසින් වලට අනුකුලව කටයුතු කිරීමේ හා එනයින්ම සිය අයිතිවාසිකම් කප්පාදුවකට ලක්වීමේ අභියෝගයටද මුහුණ දෙමින් සිටින්නේය.
සිවිල් නිදහස.
ලෝක සෞඛ්‍ය සංවිධානය කොවිඩ් 19, මහජන සෞඛ්‍යට තර්ජනයක් විය හැකි අන්තර්ජාතික ප්‍රජාවගේ අවධානය යොමුවිය යුතු තත්වයක් ලෙස ප්‍රකාශ කරමින් ලොව පුර හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කරන ලද්දේ ජනවාරි 30 වැනිදාය. ඉන් අනතුරුව මාර්තු 12 වැනි දින කොවිඩ් 19 ලොව පුරා වසංගත තත්වයක් ලෙසට ප්‍රකාශයට පත් කරන ලදී. ලොව බොහෝ රටවල් ඊට අනුකුලව සිය රටවල හදිසි තත්වයන් ප්‍රකාශ කරන ලදී. ඒ ඒ රටවල් එලෙස හදිසි තත්ත්වයන් ප්‍රකාශ කරන ලද්දේ කොවිඩ් 19 වසංගතය තම රටවල පැතිරෙන්නට වූ කාල සීමාවට අනුවය. මෙවන් හදිසි තත්වයන් ප්‍රකාශයට පත් කරනවිට හා ඊට අනුව ක්‍රියා කරන්නට යාමේදී ජනතාවගේ සිවිල් නිදහස හා සිවිල් අයිතිවාසිකම් උල්ලංඝනය වීම සහ හෝ සිමා වීම සිදු විය හැකිය. අවස්තානුකුලව මෙවැනි සීමා කිරීම් අවශ්‍යවන්නේ වුවද එය අදාල කාරනවට හා එකී කාලසීමාවට පමණක් සිමා විය යුතුය. එසේ නොවුන හොත් ඒ තුල ප්රජාතන්ත්රවාදී රාමුවෙන් ඉවතට ගොස් ජනතාවගේ සිවිල් නිදහසට සිමා මායිම් පැනවීමට ඇතැම් රජයන් කටයුතු කරනු දක්නට ලැබෙනු ඇත. අනෙක් අතට එය මාස 3ට පමණක් සිමා වියයුතුය . අවශ්‍ය වන්නේ නම් දීර්ඝ කල හැකිය.
මානව හිමිකම් නීති ආයතනයේ (Human Rights Law Centre) හි ජේෂ්ට නීතිඥ වරියක ගාඩියන් ඕස්ට්‍රේලියා පුවත්පතට කියා තිබුනේ අර්බුදකාරී අවස්ථාවක රජය කෙරෙහි පවත්නා විශ්වාසය ඉතා වැදගත් වන අතර නව බලතල ක්‍රියාත්මක කිරීමේදී විනිවිදභාවය හා වගවීම එකී විශ්වාසය සදහා අත්‍යවශ්‍ය වන බවයි. මෙහිදී ඇය තවදුරටත් කියා සිටියේ අපගේ සිවිල් අයිතිවාසිකම් කඩ කෙරෙන කුමන බලතල හෝ රෙගුලාසියක් හෝ අදාළ කාලසීමාවට පමණක් වියයුතුවා සේම එය අපගේ ප්රජාතන්ත්රවාදයේ පදනමට හානි නොකරන අනාගතයේදී අසමානතා තවදුරටත් තීව්ර නොකරන්නක් විය යුතු බවයි.
රැකියා අහිමි වීම්, වැටුප් කප්පාදු හා සේවක අයිතිවාසිකම්
කොවිඩ් 19 නිසාවෙන් ලොව පුරා රැකියා අහිමිවීම් මිලියන 25කට වඩා වැඩිවනු ඇතැයි පැවසේ. ඒ අතර බොහෝ දියුණු රටවල පවා පඩි සහිත අසනීප නිවාඩු වලට හිමි කම් ඇත්තේ ශ්‍රම බලකායෙන් අවමයකටය. අනෙක් අතට කෝවිඩ් 19 ආසාදනය වන්නාවූ සේවකයින්ට නියමාකාර ප්‍රතිකාර හා විවේකයද, ඔවුන්ගෙන් අනෙක් අයට ආසාදනය වීම වැළක්වීමද අවශ්‍ය වන්නේ වුවද සේවකයින්ට ඒ සදහා වන නීතික, ආර්ථික හා සමාජීය ශක්තිය තිබේදැයි යන්න සැක සහිතය. ජාත්‍යන්තර වෘත්තීය සමිති සම්මේලනය විසින් සාමාජික රටවල් 86 ක සේවකයින් කොවිඩ් 19 කෙරෙහි දක්වන ප්‍රතිචාර ආශ්රයෙන් කරන ලද සමික්ෂනයකින් තහවුරු වී ඇත්තේ ඉන් රටවල් 28% ක පමණක් සේවකයින් පඩි සහිත අසනීප නිවාඩු වලට අයිතිවාසිකම් කියන බවයි.
ලොව පුරා මෙම වසංගත අවස්ථාවේ සේවක කප්පාදුවකින් තොරව කටයුතු කරන ආයතන බොහොමයක් ඇති අතර එසේ නොවන ව්‍යාපාරයන්ද නැතිව නොවේ.
උදාහරන ලෙස සමහර රටවල් මේ අවස්ථාවේ ගනු ලබන නීතිමය හා ආර්ථික ක්‍රියාමාර්ග සලකා බැලිය හැකිය. රජයකට තම ජනතවගේ රැකියා සුරක්ෂිතතාවය පිළිබදව ගතහැකි ක්‍රියාමාර්ග එහි මුල්‍ය අතිරික්තය හා කේවල් කිරීමේ හැකියාව මත රදා පවතී .
ඕස්ට්‍රේලියානු කම්කරු නිතින් වලට අනුව පඩි රහිත නිවාඩු, දීර්ඝ වාර්ෂික නිවාඩු හිමිකම් ලබාගැනීම, තාවකාලිකව සේවය නැවැත්වීම ආදී වූ අංග ගණනාවක් ඔස්සේ සේවකයින් සේවා ස්ථානයෙන් තාවකාලිකව බැහැර කොට ඇති අතර කොවිඩ් 19 වසංගත තත්වයෙන් මිදී ආර්ථිකය සුභදායි වන විට ඔවුන් නැවත සේවයට කැදවනු ඇත. ඕස්ට්‍රේලියානු Fair Work Act හි සේවකයෙකු ඵලදායි ලෙස සේවයේ යෙදවිය නොහැකි අවස්ථා වලදී සේවකයාගේ සේවය තාවකාලික සේවය නතර කිරීමට (As per section 524 (1) of the Fair Work Act -2009) ප්‍රතිපාදන සලසා ඇත. එසේම සේව්‍යයා වෙත එසේ තාවකාලිකව සේවයෙන් නවතනු ලබන සේවකයන්ට වැටුප් ගෙවිමට වගකීමක් නොමැති බවත් මේ පනතේ 524 (3) වගන්තියෙහි සදහන්ය. කෙසේ වුවද ඕස්ට්‍රේලියානු ෆෙඩරල් ආණ්ඩුව මේ අවස්ථාවේදී, වැටුප් ගෙවමින් සේවකයින්ගේ රැකියා සුරක්ෂිත කිරීම සදහා අදාළ ආයතනයන්ට තම සේවකයින්ට වැටුප් ගෙවීම පිණිස උත්තේජක පැකේජයන් නැතහොත් Job Keepers package ලබා දෙන ලද අතර ප්‍රාන්ත රජයන් විසින්ද තම ප්‍රාන්තයේ ජනතාවගේ රැකියා සුරක්ෂිත කිරීම සදහා බොහෝ ක්‍රියා මාර්ග ගනු දක්නට ලැබිණ.
ඕස්ට්‍රේලියාවේ සාධාරණ වැඩ කටයුතු පිළිබද ඔම්බුඩ්ස්මන්වරයා ( Fair Work Ombudsman) කියා සිටියේ සේව්‍ය සේවක දෙපාර්ශය විසින්ම දෙපාර්ශ්වයටම වඩාත් සාධාරණ හා ඵලදායි සහ තමන්ගේ රැකියායතනයට හිතකර ක්‍රියාමාර්ගයකට එළඹීම සුදුසු බවට තමන් යෝජනා කරන බවයි. රැකියා ආයතනය පවත්වාගෙන යාම සියල්ලටම වඩා මේ ව්‍යසනකාරී අවස්ථාවේ අත්‍යවශ්‍ය බව තවදුරටත් ඔහු කියා සිටියේය. ඒ අනුව 2020 අප්‍රේල් 20 වැනි දින Fair Work පනත සංශෝධනය කරමින් රැකියා පවත්වාගෙන යාම සදහා වන උත්තේජක පැකේජය (JobKeeper stimulus package) ලබා දීමට අවශ්‍ය නිතිමය පසුබිම හා ප්‍රතිපාදන සදහා පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගන්නට රජය කටයුතු කළේය.
එහෙත්, ලොව සියලු රටවලට එවන් මුල්‍යමය ශක්තියක් නොමැති අතර අප වැනි විශාල අයවැය හිගයන්ට හා බරපතල ලෙස ණය බරින් මිරිකෙන රටවලට කොවිඩ් 19 න් බැට කමින් රැකියා අහිමි ව පිඩා විදින ජනතාවගේ රැකියා ආරක්ෂා කිරීමේ ශක්තියක් නොමැත. එහෙත් පවතින තත්වය යටතේ යම් තාක් දුරකට, සේවක අයිතිවාසිකම් ආරක්ෂා කරමින් දරුණු ආර්ථික අවපාතයන්ට මුහුණ දීමට හැකි වටපිටාවක් පවත්නා නීතිමය රාමුව ඇතුලත සැකසිය යුතු අතර එසේ නොවන්නේ නම් කාලානුරුපිව නව නීති ගෙන ආ යුතුය.
මෙහිදී රජයන්, සේව්‍ය සේවක යන පාර්ශ්වයන් තුනෙහිම සහභාගිත්වය සහ එකගතාව මත එවන් නව නීති හෝ රෙගුලාසි ගෙන ආ යුතුය යන්න පැහැදිලිය.
භාණ්ඩ හා සේවා සැපයුම අර්බුධයට ලක් වී ඇති අතර ආයෝජන සහ පාරිභෝජනය අවම වීම ඊට බලපා ඇත. කුඩා පරිමාන, මධ්‍යම හා මහා පරිමාන සියලුම අංශයන්හි භාණ්ඩ හා සේවා සැපයීමද, නිෂ්පාදන ක්රියාවලියද මෙසේ අර්බුධයට ලක් වී ඇති ක්ශේත්‍ර වෙයි. කොවිඩ් 19 හේතුවෙන් ලෝක ආර්ථිකයේ විශේෂයෙන් පිඩාවට පත්වන ක්ෂේත්රයන් කීපයක් වෙයි. සංචාරක, ජාත්‍යන්තර ප්‍රවාහන හා සත්කාරක සේවා කර්මාන්තය මේ අතර ප්‍රධාන වෙයි. ඒ අතර ඇති කුඩා හා මධ්‍ය පරිමාන කර්මාන්තයන් හි බිද වැටීම මෙහිදී බරපතල බව කිව හැකිය. කොවිඩ් 19 ට අදාළ සෞඛ්යාරක්ෂක ක්‍රියා මාර්ග වෙනුවෙන් ආයෝජනය කිරීමේ හැකියාවක් නොමැතිවීමේ සිටම මෙවන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අර්බුධයකට මුහුණ දෙන අතර එහි අවසන් ප්‍රතිපලය වන්නේ සේවක රැකියා කප්පාදුව සහ හෝ සේවකයින් ඌන සේවා නියුක්තියේ යෙදවීමයි. පසු ගිය දිනක ශ්‍රී ලංකාවේ කම්කරු දෙපාර්තමේන්තුවෙන් රජය ඉල්ලා සිටියේ රැකියා අවසන් කිරීමේ නිවේදන සේවා යෝජකයන් වෙතින් භාර ගැනීම තාවකාලිකව නතර කරන ලෙසයි. රජයට එවන් ඉල්ලීමක් කිරීමට නීතිමය වශයෙන් හැකියාවක් තිබේද යන්න ගැටළුවක් වන අතර අනෙක් අතට සේවා යෝජකයින් විසින් එවැනි ක්‍රියාමාර්ග මෙවන් අවස්ථාවක ගැනීමට එරෙහිව ක්‍රියා කිරීමට නීතිමය ප්රතිපාදනද නැත.
මෙලෙස බරපතල අර්බුදයන්ට මුහුණ දෙන කුඩා හා මධ්‍ය පරිමාන ව්‍යාපාරයන්හි රැකියා වල නියුතු බොහෝ දෙනා අනියම් හෝ ස්ථිර නොවන සේවකයන් වන අතර සමහර ක්ෂේත්රයන්හි අදාල වාරයට (Seasonal) පමනක් සේවයේ යොදවන සේවකයින් සිටින්නට පුළුවන් වන අතර ඔවුන්ගේ රැකියා මෙවන් ඉල්ලීමක් මත ආරක්ෂා වේ දැයි සැක සහිතය. මෙවන් වසංගත තත්ත්වයන්හිදී රටක සේවාවන් පවත්වාගෙන යාමට හෝ ඉහත කී පරිදි සේවක රැකියා ආරක්ෂා කර ගැනීම සදහා අවශ්‍ය නීති සම්පාදනය කාලීනව වැදගත් වන්නේ ඒ නිසාය.
ආයෝජන හා පරිභෝජනය අවම වන විට ව්‍යාපාර කඩා වැටීම හෝ බංකොලොත් භාවයට පත්වීම සිදු විය හැකි අතර විශේෂයෙන්ම ජාත්‍යන්තර ප්‍රවාහන සේවාවන්හි බිද වැටීමත් සමග ලොව සමහර ගුවන් සේවාවන් බංකොලොත් භාවයට පත් වී ඇති අතර එයට හොදම උදාහරණය නම් වර්ජින් ඕස්ට්‍රේලියා ගුවන් සේවය ස්වයං ඈවර කිරීමකට යාමයි. ඕස්ට්‍රේලියා රජය මගින් ගුවන් ගමන් සීමා කිරීම හා ඉන් අනතුරුව නවතා දැමීමත් සමග දහස් ගණනක් වූ ගුවන් සේවා ක්ෂේත්රයේ සේවකයන්හට රැකියා අහිමි වූ අතර ඔවුහු සමහරක් ප්‍රධාන සුපර් මාර්කට් ජාලයන්හි සේවයට කැදවන ලද්දේ ඔවුන්ට සහයෝගයක් වශයෙනි. ඕස්ට්‍රේලියානු රජය මගින් උත්තේජක පැකේජයන් ලබා දුන්නද වර්ජින් ඕස්ට්‍රේලියානු ගුවන් සමාගම කෝවිඩ් 19 හේතුවෙන් වූ කඩා වැටීම හමුවේ තවමත් හිස ඔසවා ගත නොහැකිව සිටී. ඇමරිකාවේ ප්‍රධාන පෙලේ ව්‍යාපාර ආයතනයක් වන Jcpenny ආයතනය කොවිඩ් 19 බලපෑමෙන් බංකොලොත් භාවයට පත්ව ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේය. රජය විසින් ඉදිරි මාස 2 තුළ සහන ලබා නොදුනහොත් සේවක වැටුප් ගෙවිය නොහැකි බව ඇගලුම් අපනයනකරුවන්ගේ සංගමයේ සභාපති කියා සිටි බවටද ලංකාදීප පුවත්පත වාර්තා කළේය. සමහර ඇගලුම් ආයතන වසා දමා ඇති බවත්, තවත් ආයතන වැටුපෙන් කොටසක් සිය සේවකයින්ට ගෙවන බවටත් අතලොස්සක් ආයතන සම්පුර්ණ වැටුපම ගෙවන බවත් ඔහු තව දුරටත් කියා තිබුණි. කොවිඩ් 19 හේතුවෙන් මේ බිද වැටෙමින් තිබෙන්නේ ලංකාවේ ප්‍රධානම අපනයන ආදායම් මාර්ගයයි.
ජාත්‍යන්තර කම්කරු සංවිධානය කොවිඩ් 19 ට අදාලව නිකුත් කරන ලද වාර්තාවකට අනුව ලොව පුරා සේවක ආදායම් අහිමි වීම් ඇමරිකානු ඩොලර් මිලියන 830 සිට 3440 පමණ විය හැකි බවයි. මෙසේ ආදායම් අහිමිවීම් මත පරිභෝජනය අවම වීම හෝ සීමා කිරීමකට ලක්වන අතර ඒ හේතුවෙන් තවදුරටත් භාණ්ඩ හා සේවා ආර්ථිකය කඩා වැටීමත් එහෙයින්ම රැකියා අහිමිවීම් ඉහළ යාමත් සිදු විය හැකිය .
අනෙක් අතට ශ්‍රී ලංකාව, ඉන්දියාව වනි තුන්වන ලෝකයේ රටවල අවිධිමත් (informal sector) ක්ෂේත්රයේ රැකියාවල යෙදී සිටින සංඛ්‍යාව වැඩි අතර මෙවන් වසංගත තත්වයක් හේතුවෙන් රැකියා අහිමි වන අය අතර ඔවුහු ඉදිරියෙන්ම සිටිති. ඒ අතරම ඔවුන්ට සමාජ ආරක්ෂණ පද්ධතීන්හි රැකවරණය නොමැති අතර ආර්ථිකයේ පතුලටම ඇද වැටෙන්නෝ වෙති.
මෙවන් අවස්ථාවන්හිදී ලොව බොහෝ රටවල් සේව්‍ය හා සේවක දෙපක්ෂය විසින් අනුගමනය කිරීම සුදුසු යයි සිතිය හැකි ක්‍රියා මාර්ග කීපයක් දක්වා ඇත. සේවා කාල සීමාවන් බෙදා වෙන් කර සේවකයන් කැදවීම (adjustable working time) හෝ ඌන සේවා වියුක්තියේ යෙදවීම හෝ වේතනයෙන් කොටසක් පමණක් ගෙවීම ආදී ක්‍රියාවන් මගින් පවතින තත්වයන් යටතේ කෙසේ හෝ සේවා නියුක්තිය පවත්වාගෙන යාම ඉන් ප්‍රධාන වේ.
සේවා යෝජකයින් විසින් සේවක කප්පාදුවකට නොගොසින් ඉහතද කී පරිදි සේවා මුර ක්‍රමය (adjusted work time), අඩුකරන ලද වැටුපකට සේවා සැපයීම ( Salary reduction) හෝ එකතු කරන ලද වාර්ෂික නිවාඩු ලබා ගැනීම (Accumulated Annual Leave) වැනි විකල්ප ක්‍රියාමාර්ග වලට යොමු වීම තුල දැඩි සේවක කප්පාදුවකට නොයා මේ අවස්ථාවේ කටයුතු කල හැකි අතර කෙසේ වුවද මෙවැනි ක්‍රියාමාර්ග සදහා අපගේ කම්කරු නීති වල ප්‍රතිපාදන අනුගමනය කල යුතු අතර හා අදාල සේවකයින්ගේ කැමැත්ත ලබා ගත යුතුය. මෙහිදී සේවකයාගේ කැමැත්තට යටත්ව සේවා ගිවිසුම අවස්තානුකුලව සංශෝධනය කිරීම කල හැකි අතර එය තාවකාලික පිලියමක් වන බව දැක්වීමෙන් සේවකයාට රැකියා අහිමි වීමේ බියක් ඇත්නම් එයද සාමාන්‍ය කරගත හැකි වනු ඇත. මෙම විශේෂිත අවස්තාවන් වලට මිට පෙර බොහෝ සේවා යෝජකයින් හෝ රජයන් මුහුණ දී නොමැති හෙයින් මෙවන් තත්වයන් කළමනාකරණය කිරීම අපහසු හා ගැටළු ඇතිකරවන්නක් විය හැකිය. එනිසාම මේ සදහා සුවිශේෂ (Unique) විසදුම් සෙවිය යුතු අතර සෙසු රටවල මෙවන් අවස්ථාවලදී ගනු ලබන ක්‍රියාමාර්ග නිරීක්ෂණය කිරීම වැදගත්ය.
නිවසේ සිට රැකියාවේ යෙදීම ( Working from Home)
කොවිඩ් 19 අභියෝගයට මුහුණ දෙමින් සිටින මහා පරිමාණ ව්‍යාපාරයන්ට හා ආයතනයන්ට තම සේවකයන්ට නිවසේ සිට සේවා සැපයීමට උපදෙස් දෙනු විනා විකල්පයක් නොමැති විය. සේවකයෝ නිවසේ සිට රාජකාරි කිරීම යනු සේවා යෝජකයෝ අත්‍යන්තයෙන්ම අකමැති කාරණයකි. එසේ අකමැති වීමට හේතු කාරණාද බොහෝ විය. තම සේවකයා පිළිබද විශ්වාසයද, ආයතනයට අදාළ සහ සමහරවිටෙක රහසය තොරතුරැ ආරක්ෂා කිරීම ඊට හේතු වූ බවට සැකයක් නැත. සේවා යෝජකයෝ නම්‍යශීලි රාජකාරි වේලාවන්ටද දැඩි අකමැත්තක් දැක්වූවද පර්යේෂකයෝ පෙන්වා දෙන්නේ නිවසේ සිට රාජකාරි කිරීම වඩා පලදායි බවයි. කෙසේ වුවද විකල්පයක් නොවූ තැන කොවිඩ් 19 ට අවනත වෙමින් ඔවුහු ඊට එකග වී ඇතිවා පමණක් නොව ඒ කටයුතු හොදින් කරගෙන යන බවද පෙනේ.
කෙසේ වුවද නිවසේ සිට රාජකාරි කිරීම සම්බන්ධව මෙපමන කලක් නීති තත්වයන් වර්දනය වී නොතිබුන අතර දැන් එය අවශ්‍යම කාරණයක් බව පෙනේ.
ශ්‍රී ලංකාවේ කම්කරු නීතීන්ට අනුව නම්‍යශීලි රාජකාරි වේලාවන් හෝ නිවසේ සිට රාජකාරි කටයුතු කිරීම සදහා නීතිමය ප්‍රතිපාදන නැත.
මෙහිදී අවධානය යොමුවියයුතු ප්‍රධාන කාරණයක් වන්නේ නිවසේ සිට වැඩ කිරීමේදී “නිවස” යන්න “සේවා ස්ථානය” යන නිර්වචනය යටතට අයත් නොවීමයි. සේවා ස්ථානය යන්නෙහිදි සේවකයාගේ වෘත්තීය ආරක්ෂාව හා සෞඛය පිළිබදව (Occupational Safety and Health – OSH) සේවා යෝජකයාට වගකීමක් ඇති අතර ඔහු විසින් ඊට අදාළ පහසුකම් හා ආරක්ෂාව සැපයිය යුතුය. සේවා ස්ථානයේදී සේවකයාගේ ආරක්ෂාව පිලිබදව කර්මාන්තශාලා පනත, කම්කරු වන්දි ගෙවීම පිලිබද ආඥා පනත ආදිය ද සාප්පු හා කාර්යාල සේවක පනත ආදිය බලපැවැත්වේ. එහෙත් නිවසේදී සිදුවන අනතුරක් සම්බන්ධව අපගේ නිතිය තුල ප්‍රතිපාදන නැත. උදාහරණයක් ලෙස පවසන්නේ නම් සේවකයා නිවසේ සිට කටයුතු කිරීමේදී පරිඝනකය හරහා විදුළිය කාන්ඳු වීමකින් අනතුරක් සිදු වන්නේ නම් සේවා යෝජකයා ඊට වගකිව යුතු වන්නේද නැද්ද යන්න පිලිබදව අපට තවමත් නීතිමය ප්‍රතිපාදන නැත. එවන් අවස්ථා සම්බන්ධව සේවා යෝජකයා හා සේවකයා අතර පවතින සේවා ගිවිසුම දෙපාර්ශ්වයේම කැමැත්ත මත සංශෝධනයට ලක් කර මග සකස් කරගත යුතුය. කෙසේ වුවද සේවකයා සිය රාජකාරි කටයුතු නිවසේ සිට සිදු කරන්නේ වුවද එය සේවය සැපයීම යන නිර්වචනය තුලට ඇතුලත් වන්නේ නම් සේවා යෝජකයා අනතුරකදී වගකීමට ලක්වන බව අයෙකුට තර්ක කල හැකිය. පැහැදිලි නීති තත්වයක් නොමැති මෙවන් විටක ප්‍රතිපුරුෂ වගකීම පිළිබදව මෙහිදී සේවා යෝජකයා බැදීමකට ලක් වෙතැයි හෝ ලක් නොවෙතැයි යන්න නිගමනය නොකර ඒ සම්බන්ධව සේව්‍ය සේවක දෙපාර්ශ්වය විසින් තීරණයක් ගත යුතු යැයි සිතමි. පවතින වාතාවරණය අනුව නිවසේ සිට රාජකාරි කටයුතු කිරීම වඩා ආරක්ෂාකාරී වනවා සේම ඵලදායි වනු ඇත. මෙහිදී සේවකයා තමා “නිවසේ සිට රාජකාරි” කරන බව වටහා ගැනීම ප්‍රමාණවත් වන අතර සේව්‍යයා ඒ සදහා සේවකයා සමග සාකච්චා කර එකගත්වයක් ඇති කරගත යුතුය.
මානසික හා චිත්ත පිඩා
කොවිඩ් 19 නිසා නිවසට වී සිටීමට වූ කාලය දින 50ක් වූ ශ්‍රී ලාංකිකයන් මෙන්ම ලොව පුරා සමහර විටෙක මාස 3 ට ආසන්න කාලයක් එසේ නිවාස වලට කොටු වී සිටින ජනතාව දැඩි මානසික හා චිත්ත පීඩාවන්ගෙන් පෙලෙන බවට මාධ්‍ය මගින් නිරන්තරව වාර්තා කරන ලදී. එක් මනෝ විද්‍යාඥයකු කියා සිටියේ අප සැහැල්ලුවට ගන්නා සමහර මිනිස් සබදතා සැබැවින්ම අප ජිවිත වලට වටිනා බව කොවිඩ් 19 වටහා දී ඇති බවයි . අතරමගදී හමුවන අයෙකු හා සිනාසීම, කෑම පැයේදී එකිනෙකා හමුවීම, පඩි පෙළ නැතහොත් විදුලි සෝපානයේදී සේවා ස්ථානයේ අයෙකු හමු වීම, කතා කිරීම ආදිය මිනිස් ජිවිත වලට මානසික හා චිත්ත සහනයක් ගෙනෙන බව කොවිඩ් 19 හේතුවෙන් දුරස්ථව රැකියා කිරීමේදී පැහැදිලි වූ සත්‍යයක් විය.
එකිනෙකා අතර අන්තර් සබදතා කොතරම් වැදගත්ද යන්නට තවත් උදාහරණයක් ගෙන එමින් ABC පුවත් සේවය වාර්තා කලේ, ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ පිහිටි මින් මැදුරක මහජන දර්ශන නවත්වා තිබීම හේතුවෙන් මානසික කම්පනයට පත් සමහර මාළු විශේෂයන් ආහාර වර්ජනය කර ඇති බවයි. කෙසේ වුවද මෙලෙස නිවසටම කොටු වී සිටිමින් කුඩා දරුවන් සිටින මාපියන්ට ඔවුන්ගේ කටයුතු සහ රැකියාවේ කටයුතු සමබරව පවත්වා ගෙන යෑම දැඩි මානසික අභියෝගයක් බව නම් සත්‍යයකි.
අප මින් ඉදිරියට සැමදා මෙලෙසම කටයුතු කල යුතුද නැතහොත් නැවතත් පෙර පරිදිම අපගේ රැකියා හා ජිවන රටාවන්ට යොමුවිය හැකිද යන්න ගැන කතා කිරීමේදී අමතක නොකළ යුතු වන්නේ, බොහෝ වසංගත, යුද ගැටුම්, ස්වභාවික ආපදා වලින් නිරතුරුව බැටකන මිනිසා කෙටි කාලීන මතකයන් ඇත්තෝ වන අතර ඉතා ඉක්මනින් මෙවන් ව්‍යසනයකට මුහුණ දුන්නාය යන්න මතකයේ පමණක් තබාගෙන ඔවුහු යළි පෙර පරිදිම ජිවිතයට මුහුණ දෙනු ඇති බවයි.
~ නීතීඥ සුබෝධ්‍යා විජේතුංග වැලිඅමුණ