නීතිඥ සමන්ති ජයමාන්න පරණගම
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී 2020.04.03 දින පවත්වන ලද මාධ්‍ය සාකච්ජාවේදී ප්‍රකාශ කරන ලද්දේ කොවිඩ් 19 ලෝක ව්‍යසනය මර්ධනය කිරීමට ගන්නාවු විශේෂ වැඩපිළිවෙල තුල ගෘහස්ථ ප්රචණ්ඩත්වය වැළැක්වීමේ ක්‍රියාකාරකම් හා ඊට අදාළ වැඩසටහන් ශක්තිමත්ව තවදුරටත් පවත්වා ගෙන යායුතු බවයි. සාමාන්‍ය තත්වයන් යටතේ පවත්නා ක්ෂණික දුරකථන සේවාවන් , කෙටි කාලීන නවාතැන් පහසුකම් සැපයීම් වැනි දේ එලෙස පැවතිය යුතුබවත් පවසන ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී මෙම විශේෂ තත්වය තුල එනම් සමාජ දුරස්ථකරණය , ප්‍රදේශ වසා දැමීම් හා නිවාස තුල නිරෝධායනය , හුදකලා කිරීම වැනි පොදු සමාජ ආරක්ෂණ ක්‍රම බලාත්මක වන අවස්ථාවලදී අසල්වැසියන් හා යහලු මිත්රයින්ගේ සහය ගෘහස්ථ ගෘහස්ථ ගෘහස්ථ ප්රචණ්ඩත්වයවැළැක්වීම සදහා භාවිතා කීරීමේ වැදගත්කම තහවුරු කර සිටියි. එකී අදහස් දැක්වීම් සියලු රාජ්‍ය්‍යන් තම පුරවැසියන් අරභයා සැලකිල්ලට ගතයුතුවේ.
ගෘහස්ථ ප්රචණ්ඩත්වය වැළැක්වීමට ශ්‍රි ලංකාව තුල බලාත්මක ප්‍රධානම නීතිය ශ්‍රී ලංකාවේ 2005 අංක 34 දරණ ගෘහස්ථ ප්රචණ්ඩ ක්‍රියා වැළැක්වීමේ පනතයි. මෙම පනතේ ප්‍රතිපාදන මගින් ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට ලක්වන්නන්ට නීතිමය රැකවරණයක් සැපයේ.
ශ්‍රී ලංකාවේ 2005 අංක 34 දරණ ගෘහස්ථ ප්රචණ්ඩ ක්‍රියා වැළැක්වීමේ පනතේ අර්ථ නිරූපණ වගන්තිය තුල ගෘහස්ථ ප්රචණ්ඩ ක්‍රියාව පහත පරිදි අර්ථ ගන්වා ඇත. එනම් පීඩාවට පත් තැනැත්තා හා අදාල තැනැත්තා අතර ඇති පෞද්ගලික ස්භාවයේ සම්භන්ධතාවයෙන් පැන නගින්නාවු ද නිවසේ පරිසරය තුළදී හෝ පිටදී අදාළ තැනැත්තකු විසින් සිදු කරන ලද හෝ ඇති කරන ලද සහ දණ්ඩ නීති සංග්‍රහයේ අපරාධ ලෙස ඇතුලත් මිනී මැරීම, සිය පණ හානිකර ගැනීමට අනුබල දීම, ගබ්සාව, පහරදීම්,තුවාල කිරීම්, ලිංගිකත්වය හා සම්භන්ධ වැරද්දක් සිදුකිරීම හා උද්වේගශිලි බැන වැදීම හා තවත් වැරදි කිහිපයක් සිදු කිරීමද මීට ඇතුලත්වේ.
ශ්‍රි ලංකාවේ ගෘහස්ථ ප්රචණ්ඩත්වය පවතීද ?
බොහෝ රටවල ගෘහස්ථ ප්රචණ්ඩත්වය සාමාන්‍යකරණය වීමක් පෙන්නුම් කරන අතර ශ්‍රි ලංකාව තුලද එවන් තත්වයක් පවතී. එවන් තත්වයක් ඇතිවීමට පුරුෂ මූලික සමාජයක විවිධ හේතු පවතී. ගෙදර ගිනි පිටට නොදීම, ගෙදර ආරවුල් බත ඉදෙන තුරු පමණයි වැනි කියමන් ඊට පිටුවහලක් සපයනු ලබයි.
එක්සත් ජාතීන්ගේ කාන්තාවන් ට එරෙහි ප්රචණ්ඩත්වය සදහා වු රපෝර්තුකාරියගේ වාර්තාවක සදහන් වන්නේ ශ්‍රි ලංකාවේ කාන්තාවන් 60% පමණ කුමන ආකාරයක හෝ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයකට ලක්වන බවයි.
එසේම ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තුමේන්තු වේ 2018 කාර්ය්ය් සාධන වාර්තාවේ අපරාධ වාර්තාවීම් අනුව බරපතල අපරාධ 36,335 ක්ද සුලු අපරාධ 41,888 ක්ද විවිධ පැමිණිලි 971,617 අතුරින් පවුල් ආරවුල් යටතේ ගෘහස්ථ ප්රචණ්ඩත්වය පිළිබද පැමිණිලි 23, 092 සදහන්වේ.
එසේ නමුත් බරපතල අපරාධ හා සුලු අපරාධ සංඛයාව තුල ගෘහස්ථ ප්රචණ්ඩත්වය නිසා සිදුවු අපරාධ ඇතුලත්විය හැක්කේ බොහෝ වෙලාවට ගෘහස්ථ ප්රචණ්ඩත්වය බරපතල අපරාධ හා සුලු අපරාධයකින් අවසන් වන බව වෙනත් දත්ත එනම් මාධ්‍ය දත්ත මගින් තහවුරුවන නිසා වෙනි.
ශ්‍රි ලංකාවේ ගෘහස්ථ ප්රචණ්ඩත්වය පවුල් ආරවුල් සදහා ලඝූ කළ නොහැක. එනිසාමදෝ ශ්‍රී ලංකාවේ 2005 අංක 34 දරණ ගෘහස්ථ ප්රචණ්ඩ ක්‍රියා වැළැක්වීමේ පනතේ සහන ළමයින්ට හා කාන්තා / පිරිමි ඕනෑම වැඩිහිටියෙකුට ලබා ගැනීමේ හැකියාව පවති.
මෙම පනතට අනුව ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයෙන් පීඩාවට පත් තැනැත්තාට පහත පාර්ශවයනට එරෙහිවද නඩු පැවරීමේ හැකියාව ඇත.
එනම් සැමියා හෝ බිරිද, පෙර සැමියා හෝ බිරිද, එකට ජීවත්වන සහකරු හෝ සහකාරිය, මව, පියා, සීයා, ආච්චි, පුතා ,දුව, මුණුබුරා, මිණිබිරිය,පුර්ණ අර්ධ හෝ සුලු සහෝදරයන්/දරියන් හා ළගම ඥාතින් ද ඊට ඇතුලත්ය.
අගතියට පත්පාර්ශවයට සහනයක් ලබාගත හැකි අධිකරණය මහේස්ත්‍රාත් අධිකරණය වන අතර ඉන් අතෘප්තියට පත්වන්නන්ට පලාත්බද මහාධිකරණයට අභියාචනා කළ හැක. මෙකී පනත යටතේ අධිකරණයෙන් ලබා ගත හැකි සහනයන් යටතට අතුරු ආරක්ෂක ආඥාවක් , ආරක්ෂක ආඥාවක් හා අවසානයේදී පරිපූරක ආඥාවක් ඇතුලත්වේ.
තාවකාලික සහනයක් ලෙස ලබා ගත හැකි අතුරු ආරක්ෂක ආඥාව හා ආරක්ෂක ආඥාව යම් ප්‍රභලත්වයක් පෙන්නුම් කරයි. එමගින් වාසස්ථානයට, සේවා ස්ථානයට , පාසලට ඇතුල්වීම්, හිරිහැර වන පරිදි පසු පස ගමන් කිරීම් වැනි කරුණු ගනනාවක් ඇතුලත් වේ.
තිරසාර සහන ඇතුලත් පරිපූරක ආඥාවක් දෙපාර්ශවයට සවන්දී සියලු කරුණු සලකා බැලීමෙන් අනතුරුව නිකුත් කරනු ලබයි.
අධිකරණ ක්‍රියාවලියට අවතීර්ණය වීමට පෙර මුලික පැමිණිල්ලක් පොලිසියට සිදුකර තිබීම ඉතා වැදගත් ය. අගතියට පත් පුද්ගලයා නීතිඥ සහාය ලබා ගැනීමට ආර්ථික වශයෙන් ශක්තිමත් නොමැති නම් නීති උපදෙස් ලබා ගැනීමට අධිකරණ අමාත්‍යංශය යටතේ පවත්නා නීති අධාර කොමිෂන් සභාව ට යොමුවිය හැක. මීට අමතරව අගතියට පත් පාර්ශවයන්ට සහය වන වෙනත් රාජ්‍ය නොවන සංවිධානද පවතින අතර කාන්තා පිහිට ආයතනය ඒ අතරින් ප්‍රසිද්ධ හා පොදු ජනතාව අතර ජනප්‍රිය ආයතනයකි. පොලිසිය විසින් ඍජු මැදිහත්වීමක් අපේක්ශිත ගෘහස්ථ ප්රචණ්ඩත්ව සිදුවීම් වලදී පොලිසිය ක්‍රියාත්මක නොවුන හොත් හෝ පක්ෂපාතී වුව හොත් ඒ සදහා මැදිහත් වීමට බලතල සහිත ස්වාධීන කොමිෂන් සභා දෙකක් පවතී. ඒ අනුව අගතියට පත් පාර්ශවයට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට මෙන්ම ජාතික පොලිස් කොමිෂන් සභාවට පැමිණිලි කිරීමේ හැකියාව ඇත.
ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට මුහුණ දෙන පාර්ශවයන්ට පවත්නා තත්වයන්ට සහන ලබා ගැනීම සදහා වෙනත් සිවිල් හෝ අපරාධ නඩුවක් පැවරීමට මෙම පනත බාධාවක් නොවන බවද සදහන් කළ යුතුය.
ගෘහස්ථ ප්රචණ්ඩත්වය මානසික ඒකාග්‍රතාවය බිද වැටීමට හේතුවන්නක් බැවින් මානසික සෞඛ්‍ය සේවාවන් විසින් වැදගත් කාර්ය්ය්බාරයක් ඉටු කරනු ලැබේ.
ගෘහස්ථ ප්රචණ්ඩත්වය මගින් පීඩාවට පත්වන්නන්ට පහත ආයතන හා දුරකතන අංක මගින් යම් සහනයන් හා තොරතුරු ලබා ගත හැකියි.
ශ්‍රී ලංකා පොලිසිය
ක්ෂණික දුරකථන අංකය 119
ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාව
දුරකථනය – 011 2433618
කාන්තා පිහිට ආයතනය
ක්ෂණික දුරකථන අංකය 011 4718585
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව
ක්ෂණික දුරකථන අංකය 1996
ජාතික පොලිස් කොමිෂන් සභාව
ක්ෂණික දුරකථන අංකය 1960
මානසික සෞඛ්‍ය ආයතනය අංගොඩ
ක්ෂණික දුරකථන අංකය 1926
සුමිත්‍රයෝ
0112696666 / 0112692909 /0112683555
දුරකථන මගින් උපදේශන සේවා
සීසීසීලයින් 1333
කෝවිඩ් 19 ව්‍යසනය තුල යෝජිත විකල්ප හා නිර්දේශ
- පවත්නා තත්වයන් තුල ගෘහස්ථ ප්රචණ්ඩත්වය පිළිබදව සංවේදීව කටයුතු කරන ලෙස නීතිය බලාත්මක කරන නිලධාරීන්ට දැනුම් දීම
- ක්ෂණික දුරකථන සේවාවන් ශක්තිමත් කිරීම
- අගතියට පත් පාර්ශවයන්ට අසල්වැසි හා මිත්රයින්ගේ සහයෝගය දිරිමත් කිරීම